Press "Enter" to skip to content

රැකියා විරහිත 70%කගේ ජාතික අභියෝගයට විසඳුම් සොයන ChildFund Sri Lanka මෙහෙයුම

ශ්‍රී ලංකාවේ දරුවන් සහ තරුණ පරපුර දැනුමෙන්, කුසලතාවලින් සහ ආරක්ෂාවෙන් සන්නද්ධ සවිබලගැන්වූ පුරවැසියන් ලෙස සමාජයට දායාද කිරීම වෙනුවෙන් ChildFund Sri Lanka ආයතනය වසර 40කට අධික කාලයක සිට සුවිශේෂී මෙහෙවරක නිරතව සිටියි.

රජයේ ආයතන, සිවිල් සමාජ සංවිධාන සහ පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ වෙමින් ChildFund Sri Lanka ක්‍රියාත්මක කරන ප්‍රධාන උපායමාර්ගික ප්‍රමුඛතා හතරෙන් එකක් වන්නේ “ස්ත්‍රී පුරුෂ භාවය සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ අන්තර්කරණය” (Inclusion in gender and disability) යන්නයි. මේ යටතේ ආබාධ සහිත තරුණ තරුණියන්ගේ අයිතිවාසිකම් දිනා දීම, අධ්‍යාපනය, ජීවනෝපාය සහ සමාජීය අන්තර්කරණය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙළක් දියත් කර ඇත.

රැකියා විරහිත 70%කගේ ජාතික අභියෝගයට විසඳුම්

ප්‍රමාණවත් පුහුණු අවස්ථා නොමැතිකම, අධ්‍යාපනයට ඇති සීමිත ප්‍රවේශය සහ සමාජ අපවාද හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයන්ගෙන් 70%ක්ම තවමත් රැකියා විරහිතව පසුවෙති. මෙම බරපතළ ජාතික අභියෝගයට ප්‍රතිචාර දක්වමින් ChildFund ආයතනය “ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය කිරීමේ වැඩසටහන” ක්‍රියාත්මක කරයි.

වසර 10කට වැඩි අත්දැකීම් ඔස්සේ ගොඩනැඟුණු මෙමඟින් මේ වන විට ආබාධ සහිත දරුවන් 12,000කට අධික පිරිසකට සහාය වී ඇති අතර ආබාධ සහිත පුද්ගලයන්ගේ සංවිධාන (OPDs) ජාලයන් ද ශක්තිමත් කර ඇත. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ගේ වයස අවුරුදු 15–24ත් අතර ශාරීරික, සංවේදන සහ ස්නායු සංවර්ධන ආබාධ සහිත තරුණ පිරිස් සඳහා රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා මෙයින් උදාකර දෙයි.

සමාජ සේවා දෙපාර්තමේන්තුව සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක්

ආබාධ සහිත තරුණයන්ගේ වෘත්තීය කුසලතා වර්ධනය සඳහා ChildFund Sri Lanka ආයතනය, සමාජ සේවා දෙපාර්තමේන්තුව (DoSS) සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ එක්ව වෙළඳපොළ අවශ්‍යතා හඳුනාගෙන නව වෘත්තීය පාඨමාලා රැසක් හඳුන්වා දී ඇත.

එලෙස හඳුන්වා දුන් ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක්:

  • ආගන්තුක සත්කාර සේවා (Hospitality) සහ අලෙවි සහායකත්වය (Sales Assistance)

  • ග්‍රැෆික් නිර්මාණකරණය (Graphic Design) සහ ජංගම දුරකථන අලුත්වැඩියා කිරීම

  • පේස්ට්‍රි, බේකරි, බතික් සහ ස්වර්ණාභරණ නිෂ්පාදනය

  • කෘෂිකාර්මික පැළ තවාන් කළමනාකරණය, පාවහන් කාර්මික ශිල්පය සහ ජලනළ කාර්මික සහායකත්වය

ආයතනික වටමේස සාකච්ඡාව සහ ඉදිරි ගමන

ආබාධ සහිත පුද්ගලයන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීමේ ප්‍රායෝගික මාර්ග හඳුනා ගැනීම වෙනුවෙන් සේවා යෝජකයන්, රාජ්‍ය නියෝජිතයන්, තාක්ෂණික විශේෂඥයන් සහ සංවර්ධන හවුල්කරුවන්ගේ සහභාගිත්වයෙන් විශේෂ ආයතනික වටමේස සාකච්ඡාවක් මෑතකදී පවත්වන ලදී.

මෙහිදී වෙනස් කොට සැලකීමකින් තොර බඳවා ගැනීමේ ක්‍රමවේද, සේවා ස්ථානවල ප්‍රවේශ පහසුකම් (Reasonable Accommodation) සහ ආධුනිකත්ව (Internship) අවස්ථා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම ChildFund හි ‘දිරිය සහයෝගී රැකියා වැඩසටහන’ සහ ආබාධ සහිත දරුවන් වෙනුවෙන් වන ‘AYATI ජාතික මධ්‍යස්ථානය’ සතු විශේෂඥ දැනුම, පෞද්ගලික අංශයේ රැකියා වෙළඳපොළ සමඟ වඩාත් තිරසාර ලෙස සම්බන්ධ කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

ප්‍රධාන පණිවිඩය: “ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය කරගත් රැකියා බඳවා ගැනීම් යනු පුණ්‍ය කටයුත්තක් නොව, ඔවුන් සතු දක්ෂතා, විවිධත්වය සහ හැකියාවන් අගය කරමින් සිදු කරන වටිනා ආයෝජනයකි. නිවැරදි සහයෝගීතාවය තුළින් ඔවුන් සවිබල ගන්වා රටේ ආර්ථික සංවර්ධනයට සෘජුව දායක කර ගත හැකිය.”

ChildFund Sri Lanka ආයතනයේ ඉදිරි දැක්ම වන්නේ පවතින රජයේ හා පෞද්ගලික පද්ධති තුළම මෙම සහයෝගී රැකියා (Supported Employment) ආකෘති තිරසාරව ස්ථාපිත කරමින්, වඩාත් සාධාරණ හා සියලු පුරවැසියන්ට සමාන අවස්ථා හිමි වන ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමයි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *